Tuesday, April 16, 2019

කහ ශාකයේ උද්භිද විද්‍යාත්මක ලක්ෂණ

කහ සින්ජිබරේසියේ (Zingiberaceae) කුලයට අයත් වේ. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය කර්කුමා ලෝන්ගා (Curcuma longa L.) ලෙස පළමුවෙන් හැදින්වුවත් 1948 න් පසුව එය කර්කුමා ඩොමෙස්ටිකා (Curcuma domestica L.) හඳුන්වනු ලැබේ. කර්කියුමා ශාක ගණයේ විශේෂ 70ක් පමණ දැනට හඳුනාගෙන ඇත. මෙම විශේෂ අතරින්  10 ක්  පමණ විවිධ රටවල සුළු පරිමාණයෙන් වගා කෙරෙන අතර වැඩි ආර්ථික වටිනාකමක් ඇති කර්කුමා ලෝන්ගා විශේෂය විශාල ලෙස වගා කරනු ලැබේ.

කහ ශාකය භුගත රෛසොමයකින් හා සෙ.මී. 60-90ක් (අඩි 2-3) උසට වැඩෙන පළල් පත්‍ර සහිත ව්‍යාජ, වායව කඳකින් ද සමන්විත වේ. ව්‍යාජ කඳේ පත්‍ර 6-12 ක පමණ හට ගනී. පත්‍රයක දිග සෙ.මී. 30 (අඩි 01)ක් පමණ වන අතර තද කොළ පාටය. පත්‍ර වල අග්‍රස්ථ කෙලවර පාදස්ථ කෙළවරට වඩා පළල්ය. ශල්ක පත්‍ර සහිත භූගත කඳ සත්‍ය කඳ වන අතර එහි සංචිත ආහාර අඩංගු වේ. ප්‍රධාන භූගත කඳෙන් ශාඛා ලෙස කහ අල හට ගනී. වාණිජව අස්වැන්න ලෙස ලබා ගන්නේ මෙම අලයි. රෛසොමයේ අභ්‍යන්තර තද තැඹිලි පැහැයේ සිට කහ පැහැයක් ගන්නා අතර කහ වලට ආවේනික වූ සුවදක් සහ රසයක් ඇත. මාංශලමය වූ මුල් රෛසොමයෙන් හට ගනී. පුෂ්ප මංජරිය පාදස්ථයෙන් හට ගන්නා අතර පුෂ්ප ලා කහ පාටකින් යුක්ත වේ. ඵලය ස්පෝටිකාවකි.
 

"කහ ශාකය" පිලිබඳ හැදින්වීම









සින්ජිබරේසියේ (Zingiberaceae) කුලයටඅයත් වන කහ ශාකය Curcuma longa L.උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. කහ බෝගයේ සම්භවය දකුණු හා ගිණිකොණ දිග ආසියානු රටවල් ලෙස සැලකේ. ලෝකයේ වාර්ෂික සමස්ත කහ නිෂ්පාදනය මෙ. ටොන් 800,000 ක් පමණ වේ. මෙයින් 75% ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාවේ වන අතර බංගලාදේශය, පාකිස්තානය, තායිලන්තය, චීනය, මියන්මාරය, ඉන්දුනීසියාව, ජැමෙයිකාව, හයිටි, පේරු සහ ශ්‍රී ලංකාව යන රටවල ද කහ වගා කරනු ලැබේ. කහ අපනයනය කරනු ලබන ප්‍රධාන රටවල් වන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය, තායිවානය සහ ජැමෙයිකාවයි. කහ ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල් වන්නේ ඉරානය, මැදපෙරදිග රටවල්, උතුරු සහ දකුණු අප්‍රිකානු රටවල්, යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ජපානය සහ මැලේසියාවයි.


අහාර පිළියෙළ කිරීමේදී වර්ණකාරකයක් හා කුළුබඩු මිශ්‍රණවල සංඝටකයක් ලෙසත් කහ භාවිතා කෙරේ. තවද සායම් නිෂ්පාදනයේ දී සහ රෙදිපිළි වර්ණ ගැන්වීමේ දී ද භාවිතා වේ. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී සහ රුපලාවන්‍ය කටයුතු සඳහා වැදගත් අමු ද්‍රව්‍යයක් ලෙස කහ යොදා ගැනේ. එමෙන්ම මෙය මිශ්‍ර විෂබීජ නාශකයක් වන අතර හින්දු භක්තිකයින් ආගමික කටයුතුවලදී බහුලව කහ සහ කha මිශ්‍ර දියර භාවිතා කරයි. මේ අනුව බලන කල අපගේ එදිනෙදා කටයුතු වලදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස  කහ හැදින්විය හැකිය.